Loading

Loading...

විල්පත්තුවේ පලවෙනි මතක සටහන

අපේ ගෙදර පවුලෙ අයගෙ විශේෂත්වය තමයි හතර දෙනාටම නොසෑහෙන්න කැලෑ පිස්සුව තියෙන එක. ඉතින් මට මතක හැටියට අවුරුදු 5න් පටන් ගත්ත මගේ වනජීවී චාරිකා ජිවිතයේ පරිසරය විසින්ම දුන්නු බය හිතෙන ,දුක හිතෙන වගේම පුදුම හිතෙන සිදුවීම් බොහොමයි. ඒත් මේ සිදුවීම මට ගොඩක් විශේෂයයි . ඒ මොහොතෙදි සතුට ගෙනත් දුන්න දෙයක් උනත් අදටත් මතක් කරන වාරයක් ගානෙ ඒකෙ බරපතළකම මැවි මැවි පේනව. මේ චාරිකාව වෙන්නෙ 2006 අවුරුද්දෙ. එතකොට මට වයස අවුරුදු 7යි. අපේ පවුලෙ හතරදෙනා වගේම අපිට මේ ගමනට සෙට් උනේ අපේ පවුලෙ ලගම මිත්‍රයො වෙච්ච අපි වගේම කැලෑ උණ හොදටම තියෙන පවුලක්. අමතරව අපේ අත්තම්මයි නෑදෑ සහෝදරයෙකුත් ගමනට එකතු උනා. සහෝදරයෙක් කිව්වට මොකද එතකොට මෑන්ටත් වයස 11යි. තව අර කිව්ව පවුලෙත් මගේ වයසෙම යාලුවයි අවුරුදු 11ක් වයස අය්ය කෙනෙකුයි උන්නෙ. මට වඩා අවුරුදු 4ක් අඩු අපේ මල්ලියි තමයි පොඩිම බබා. කොහොමහරි ගනන් කරල බැලුවම අපි ඔක්කොම පොඩි කට්ටිය 5ක්.

කොහොමහරි මේ ගමන යොදාගත්තෙ විල්පත්තු ජාතික වනෝද්‍යානයට. ඒ කාලෙ වෙද්දි LTTE කලබල උත්සන්න වෙලා තිබ්බ නිසා වනෝද්‍යානයට විවෘත කරල තිබ්බත් දැන් වගේ කවුරුත් ඇවිදින්න යන්න ගියෙ නෑ. කොහොමහරි අපි විල්පත්තුවෙ වනාන්තර ස්වාභවය ගැනවත් හරි හැටි නොදැන වනෝද්‍යානයට ආවෙ ඩොල්පින් වෑන් එකක. ඒ කාලෙ දැන් වගේ ජීප් වැඩිය තිබ්බෙ නෑ. තිබ්බත් ඔය කෝස් එක ගැන අපි වැඩිය දැනන් හිටියෙත් නෑ. කොහොමින් හරි පාක් එකේ කට්ටියත් එක්ක කතා කරල අපි වෑන් එකේම පාක් එක ඇතුලෙ යන්න තිරණය කලා. අපි බුක් කරල තිබ්බෙ පනික්ක විල බංගලාව. මේ වෙද්දි විල්පත්තුවට වැහැල බලන බලන හැමතැනම වතුර පිරිලා. තාත්තයි තාත්තගෙ යාලුවයි වාහනේ ගියෙ බයෙන් බයෙන්. ඒ වුනත් කැලේ නන් පුදුම ලස්සනක්. කොහොමහරි දෙවෙනි දවසෙ හැන්දෑවෙ 5:30ට විතර දිවියෙක් බලන්න කියලා වාහනේ ටිකක් ඇතුලෙ පාරකට අපි දැම්ම . වාහනයක් කලින් ගිහිපු පාරක් ලොකුවට පේන්න තිබ්බෙත් නෑ. දෙපැත්තම එරෙනසුලු තන බිමක් තිබ්බෙ. කොහෙන්වත් රිවර්ස් කරල හරවන්න බයයි එරුනොත් කියලා. ඒත් ටිකක් දුර යද්දි එක තැනක් හම්බුනා එරිලා නැතුව වාහනයක් හරවපු පාරක් තියෙන. ඒපාර බය නැතුව එතනට ගහපු රිවර්ස් එක මදි නොකියන්න ඇතුලටම බැහැපි. පොඩි ලමයි පස් දෙනෙකුයි ගෑනු අය 3න් දෙනයි පිරිමි තුන්දෙනයි ගයිඩුත් එක්ක. වාහනය තල්ලු කරනව තියා හොලවන්නවත් බෑ. ඒ අස්සෙ ලගින් දිවිය ඉන්න බව කියමින් මුවොත් කෑ ගහනවා. හොදටම හැන්දෑ වෙලා නිසා පයින් යන්න තරම් හැකියාවකුත් තිබ්බෙ නෑ. විල්පත්තුවට පෝන් වලට සිග්නල් තියා අහල ගන් තුලානක සතෙක් ඇරෙන්න මිනිහෙක්ගෙ හඩක්වත් ඇහෙන්නෙ නෑ. අපි හිටිය තැනේ හැටියට පෝන් වලට සිග්නල් තියෙන තැනකට යනව නන් කුදිරමලේ තුඩුවට පයින් යන්න ඕනෙ. ඒ අතර ලගපාත තිබුනා බිල්ඩිමක් කඩල ගෙනාව කොන්ක්‍රීට් කෑලි වලින් පුරවපු පාරෙ වලවල් ටිකක්. පිටිපස්සෙ රෝද දෙක පුලුවන් තරම් උඩට හිටින්න ජැක් කරලා එයින් පුලුවන් තරම් ඇතුලට ගල් කැට පුරවමු කියලා කට්ටිය වැඩට බැස්සා. ඒ අතරෙ පොඩි එවුන් ටිකයි අම්මලායි රණවරා කොල ගස් අතු දර කෑලි උස්සන් ඇවිත් රෝද අස්සට එබුවා. අන්තිමට හොදට යටට පුරවලා මුලු ලෝඩ් එකම පිටිපස්සට පටවලා එක පාර ඇදල වාහෙනේ පාරට ගනිද්දි 7ට කිට්ටු කරලා. අන්තිමට බලපු දිවියෙකුත් නෑ වාහනේ කොහොමහරි ගොඩගත්ත සතුටට ඔයින් ගියා මදැයි කියලා මහ රෑ ලයිටුත් දාගෙන හොදටම කරුවලේ බංගලාවට ගියෙ.

ඒ කොහොම උනත් විල්පත්තුවේ ඒ ගතකරපු රාත්‍රියන් අතිශයන් මූසලයි. අම්මා එක විනාඩියක් ඇහැ පියෙව්වෙ නෑ වෙනද වගේ. ඇයි කියලා පොඩිකමට මට නොදැනුනත් අද ඒකට හේතුව හොදට වැටහෙනවා. මොකද අපි නොදැනුවත්වම උනත් ගිහින් තිබ්බෙ පිටස්තර මිනිස් සුවදක්වත් නැති කොටි අඩවියකට. අම්මයි තාත්‍තයි ඒ දෙන්නගෙ යාලුවො දෙන්නයි මොන තරම් බයකින් ඉන්න ඇතිද කියලා අද හිතෙනවා. ඒ ඔක්කොටම වඩා අපි කරපු වැඩේ භයානක බව තේරුම් ගියෙ ඊට සතියකට පමන පස්සෙ. අපි ගිහින් ඇවිත් හරියටම සතියකට පස්සෙ වනෝද්‍යානය ඇතුලෙ LTTE සංවිධානය විසින් භයානක මිනිස් සංහාරයක් කරල තිබ්බා. එතැන සිට නැවත් යුද්ධය නිමා වෙනතුරුත් විල්පත්තු ජාතික වනෝද්‍යානය නැවත විවෘත කලේ නැහැ. නමුත් අදටත් ඒ සිදු වුන සිදුවීම ගැන මතක් කරද්දි වෙලාවට හිතෙනවා LTTE ඇස් ඉස්සරහින්ම අපි සත්තු බල බල ගියාද දන්නෙ නෑ කියලා. ඒ කුමක් උනත් අදටත් වනසත්ව උණ නන් සනීප වෙලා නෑ. දැනට විල්පත්තු ජාතික වනෝද්‍යානයට 25 වතාවකට ආසන්න වාර ගණනක් සංචාරය කරල තියෙනවා වගේම දැන් නන් නොදන්න පාරක් නොදන්න මුල්ලක් නැතුව ඇති.

- වාසුකී ජයවීර -

Department of Earth Resources Engineering

18’ batch

Created : Jun 1, 2020 01:37pm
Last updated : Apr 19, 2024 09:19pm