Loading

Loading...

දුම්බරට වෙලාව කියන සුන්දර මානිගල සොයා ගිය ගමන



මෙවර අප්‍රේල් මාසයේ අප විශ්ව විද්‍යාලයේ Mora Hiking Club විසින් කඳු තරණය කිරීම සඳහා නකල්ස් කඳුවැටියේ පිහිටි කන්දක් වන මානිගල කන්ද තෝරා ගන්නා ලදි. 2024 වර්ෂයේ අප්‍රේල් මස 7 වන පළමු ඉරුදින අලුයම 2.00ට පමණ 53 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සුන්දර අත්දැකීම ලබා ගැනීමට මොරටු සරසවියෙන් පිටත් වූ අතර උදෑසන ආහාරය ලබා ගැනීම සඳහා පෙ.ව.7.30 ට පමණ බස් රථය මාතලේ දී නවත්වන ලදි. උදෑසන ආහාරයෙන් පසුව නැවත අප අපගේ ගමනාන්තය බලා ගමන් ඇරඹුවෙමු. හෝර දෙකකට පමණ පසු අප රත්තින්ද ගම්මානයට පැමිණි අතර එතැන් සිට බස් රථයෙන් ගමන් කිරීම අපහසු වූ බැවින් රත්තින්ද ගම්මානයේ සිට ඇටන්වල ගම්මානය දක්වා නැවුම් සුන්දරත්වය විඳගනිමින් අප කණ්ඩායම කඳු පාමුල තෙක් පා සටහන් තැබුවෙමු.



මානිගල යනු නකල්ස් කඳුවැටියේ පිහිටි ජනප්‍රිය කඳුකර ප්‍රදේශයකි. මානිගල කඳු තරණ මාර්ගය නකල්ස් සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිට ඉලුක්කුඹුර දක්වා ඇති කඳු, තැනිතලා සහ උද්‍යාන හරහා දිව යයි. මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක තුළ පිහිටි දුම්බර නොහොත් නකල්ස් කඳු වැටිය ඉහළ ජෛව විවිධත්වයක් ඇති පරිසර පද්ධතියකි. මානිගල කන්ද තරණය කිරීමේදී රත්තින්ද ගම්මානයේ මෙන්ම ඇටන්වල ගම්මානයේද කුඹුරු,වතු සහ ගැමි සුන්දරත්වයද දැකගත හැකිය. ඉපැරණි කාලයේ වේලාව කියවීමට මෙම කන්ද අවට විසූ දෙමළ කම්කරුවන් කන්ද මත පවතින විශේෂිත ස්ථානයක් මතට හිරු ආලෝකය පතිත වන මොහොත පදනම් කරගනිමින් වේලාව නිර්ණය කිරීම සිදු කර ඇති අතර දමිළ බසින් වේලාව සදහා “මනි” යන වචනය භාවිත කළ බැවින් අතීතයේ මෙය “මනිගල” ලෙසත් පසුකාලීනව “මානිගල” නමින් හැදින්වූවා යැයි මූලාශ්‍ර සඳහන් කරයි. මානිගල දුම්බර කඳුවැටිය ‘ඇත් ඔලුගල’ කන්ද නමින්ද හඳුන්වනු ලබන්නේ එක් පසෙකින් බලන විට ඇතෙකුගේ හිසෙහි හැඩයට තිබීම හේතුවෙනි. මුහුදු මට්ටමේ සිට 1104m පමණ උස මෙම මානිගල කන්ද තරණය කිරීමට ඇටන්වල ගම්මානයේ සිට 3km ක් පමණ දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගමන් කළ යුතුය. මානිගල තරණය අතරතුර සුන්දර ඇල්ලක් වන ‘ වැද්දා පැණි ඇල්ල’ද අපට දැකගත හැක.



අප කන්ද තරණය ආරම්භ කිරීමට මත්තෙන් සුපුරුදු පරිදි අප සංගමයේ සහෝදර සහෝදරියන් හඳුනා ගැනීම සිදුවූ අතර කෙටි ශරීර යෝග්‍යතා සැසියක්ද සිදුවිණි. ඒ වගේම සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් විසින් කඳු තරණයේදී අවශ්‍ය වන උපදෙස් ලබා දීමට ද අමතක නොකළහ. මුලින්ම අප ඇතුලු වූයේ හරිත වන වෘක්ශලතා වලින් පිරි වන ලැහැබකටය. වන ලැහැබ මැදින් වැටී තිබූ අඩිපාර දිගේ ගමන් කිරීමේදී ගතට වෙහෙසකර වුවත් අවට පරිසරයේ මනහර ස්වභාව සෞන්දරත්වය අපගේ වෙහෙස නිවා ගත ප්‍රබෝධයෙන් මුසපත් කිරීමට සමත් විය.



වනාන්තරයේ සුන්දරත්වය විඳිනවා මෙන්ම අපගේ ආරක්ෂාව උදෙසාද මුල, මැද, අග ලෙසට කණ්ඩායම් ගත වීමකින් යුක්තව අප කන්ද තරණය කළෙමු. පරිසරයට ඔබින සෞම්‍ය කාලගුණය ද අපගේ ගමනට පිටුවහලක් විය. අවට පරිසරය විඳිමින් සහ අනෙකුත් සහෝදර සහෝදරියන් සමඟ සතුටු සාමීචියේ යෙදෙමින් වන ලැහැබ මැදින් පා තැබුවෙමු. කන්දේ අඩක් පමණ තරණය කළ පසු දහවල් 12.00 ට පමණ අප අපගේ දිවා ආහාරය ගත්තමු. දිවා ආහාරයෙන් අනතුරුව නැවත අපගේ ගමන නැවුම් ජවයකින් යුක්තව ආරම්භ කරෙමු.

හෝරා කිහිපයකට පමණ පසුව වෙහෙසකරබව සැඟවී ගිය නොනිමි සතුටකින් අප ගමනාන්තය දක්වා ළඟා වුනෙමු. එහිදී අපගේ නෙත් ඉදිරිපිට වූයේ මනස්කාන්ත දර්ශනයකි. එය 360°ක මනරම් දර්ශන ස්ථානයක් විය. එහිදී දුම්බර මිටියාවතේ වූ පතනෙගල, තුන්හිස්ගල, ගොම්බානිය, නකල්ස්, ලකේගල, කිරිගල්පොත්ත, වැනි සුන්දර කඳු පන්ති රාශියක් අපගේ නෙත ගැටුනු අතර දූවිලි ඇල්ලද අපට දැකබලා ගතහැකි විය.



මානිගල මුදුනේ වූ චමත්කාරජනක සුන්දරත්වයෙන් අපගේ සිත් පුරවාගෙන කිහිප වේලාවකට පසු අපි පහළට ගමන් ඇරඹීමට පටන් ගත්තෙමු. ඒ අතරතුරේදී අපගේ දැනුම වර්ධනය කිරීම උදෙසා කණ්ඩායම් ක්‍රියාකාරකම් කිහිපයක්ද අප සංගමයේ සාමාජිකයන් විසින් සංවිධානය කර තිබුණි. එය අප නොදන්නා කරුණු රැසක් දැනගැනීමට මෙන්ම එකිනෙකාගේ දැනුම බෙදාගැනීමටත් තෝතැන්නක් විය. සුන්දර මතක සනිටුහන් කරමින් අප බස් රථය බලා සවස 5.30 පමණ වන විට ළඟා වූයෙමු. රාත්‍රී භෝජනය සඳහා බස් රථය ප.ව. 9.00ට පමණ මාතලේ නතර කළ අතර විශ්ව විද්‍යාලයට ළඟා වන විට අලුයම 1.00 පමණ වී තිබුණි. ඒ අනුව ඉතා සුන්දර අත්දැකීම් ගොන්නක් එක් කර ගනිමින් තවත් එක් සුන්දර මතක සටහනක් මෙසේ නිමාවිය.




සටහන:

හිරුණි තාමරසී

23 කණ්ඩායම

ප්‍රවාහන කළමනාකරණ හා කාර්යෝපාය ඉංජිනේරු දෙපාර්තමේන්තුව

135 0
Created : Apr 26, 2024 04:37pm
Last updated : May 9, 2024 03:13am